පොත් සුවද රැදි පොත් ප‍්‍රදර්ශණය
It is the book fair once again
සැප්තැම්බර් මාසය එළඹෙනතෙක් පොත පතට ඇළුම් කරන්නෝ ඇගිලි ගණිමින් බලා සිටින්නේය. පොත් වලට ඇළුම්කරන අයත් ළමුන් සිටින දෙමාපියනුත් සැප්තැම්බර් මාසය එළඹෙනතෙක් බලා සිටින්නේ වෙන කිසිවක් නිසාවෙන් නොවේ. ලංකාවේ පැවැත්වෙන විශාලතම පොත් ප‍්‍රදර්ශණය පැවැත්වෙන්නේ මේ මාසයේදී වන නිසාය.
සෑම වසරකදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන ජ්‍යාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට ලංකාවේ සෑම දෙසසකින්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙති. දෙමාපියන්ගේ අතේ එල්ලී පැමිණෙන පාසල් ළමයි මෙන්ම පාසල් නොයන වයසේ පසුවන කුඩා දරු දැරියෝද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණයට පැමිණෙති. අකුරු කීමට තරම් වයසක් නොතිබුණත් ඇතැම් කුඩා දරුවන් පොත් ප‍්‍රදර්ශණයේදී පින්තූර ඇති පොත් ඉල්ලන්නට වූහ. ඇතමෙක් දෙමාපියන් මිලට ගත් පොත් තුරුළුකරගෙන පොත් ප‍්‍රදර්ශණයට වටා ඇවිද යන්නට වූහ. පොත්වලට ආදරය කරන ළමුන් බොහෝ දෙනෙක් පොත් පෙරලමින් පොත්වල සුවද විදින්නට වූහ.
‘‘අපි හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසය එනතෙක් බලාගෙන ඉන්නේ ළමයින්ට පොත් ගන්න.’’ බේරුවල සිට පොත් ප‍්‍රදර්ශණයට පැමිණ සිටි ෆවුමි සෙයින් පැවසුවේය.
එක් වර්ශයක පොත් ප‍්‍රදර්ශණය අවසන්වූ සැනින් ඊළග වසරේ පොත් ප‍්‍රදර්ශණයෙන් පොත් මිලට ගැනීමට ඇතැම් පාඨකයෝ උත්සුක වෙති. ගම්පහ පදිංචිව සිටින උමේෂා හේමානි මේ ආකාරයට සෑම පොත් ප‍්‍රදර්ශණයෙන් පොත් මිලට ගැනීමට මුදල් එකතුකරන්නීය. මේ වන විට පාසල් අධ්‍යාපනය අවසන් කර සිටින ඇය තවමත් රැුකියාවක් කරන්නේ නැත. ඇගේ වියදමට දෙමාපියන් ලබාදෙන මුදල් කැටයකට දමා එකතුකරන්නේ පොත් මිලට ගැනීම සදහාය.
‘‘ගෙදරින් මගේ වියදමට දෙන ෂල්ලි ඉතුරු කරලා කැටයකට දානවා. එහෙම ඉතුරු කරලා රුපියල් දෙදාහක් විතර එකතුකරගන්න පුළුවන්.’’ හේමානි කීවාය. කැටයෙන් දමා මුදල්වලට අමතරව දෙමාපියන්ගෙන්ද මුදල් ඉල්ලාගෙන පොත් මිලට ගන්නීය.
පොත් ප‍්‍රදර්ශණයෙන් පොත් මිලට ගැනීමට පැමිණෙන සමහරුන්ට කාර්යාල වලින් ඒ සදහා මුදල් ලබාදෙන්නේය.
‘‘අපේ ආයතනයෙන් සාහිත්‍ය මාසය වෙනුවෙන් පොත් මිලට ගැනීමට රුපියල් පන්දහසක මුදලක් ලබාදෙනවා.’’ ලේක් හවුස් ආයතනයේ සේවය කරන හර්ෂණී ගමගේ පැවසුවාය.
පොත් ප‍්‍රදර්ශණයෙන් පොත් මිලට ගැනීමට පැමිණි විට කාර්යාලයෙන් ලබාදෙන මුදල් ප‍්‍රමාණවත් නොවන බව ඇය කියන්නීය. පොත් මිලට ගෙන අවසන් වන විට කාර්යාලයෙන් ලැබෙන මුදල මෙන් දෙගුණයක් වියදම් වන බව ඇය කියන්නීය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණයට පැමිණි වැඩි පිරිසක් මිලට ගෙන තිබුණේ අධ්‍යාපනයට අදාල පොත් පත්ය. දරුවන්ගේ පාසල් ගමන දිනකට පසෙකට දමා සමහර දෙමාපියන් සතියේ දිනවල පොත් ප‍්‍රදර්ශණයට පැමිණ සිටියේය. පොත් ප‍්‍රකාශකයින්ගේ කුටි වෙත ගිය ඔවුන් ළමුන්ගේ පාසල් අධ්‍යාපනට අදාල පොත් තෝරන්නට වූහ.
‘‘උසස් පෙළට පෙනී සිටින පුතාට අවශ්‍ය අධ්‍යාපන පොත් තමයි වැඩියෙන්ම ගත්තේ.’’ රුපියල් පන්දහක පොත් මිලට ගැනීමේ සූදානමින් පැමිණ සිටි ආර්. ඞී. රත්නායක පැවසුවේය. පැය තුනක පමණ කාලයක් තිස්සේ පොත් ප‍්‍රදර්ශණ භූමියේ ඇවිදිමින් පොත් මිලට ගන්නාවිට රුපියල් අටදහසක පමණ මුදලක් වැයවී තිබුණි. එහෙත් ඒ වන විටත් රත්නායක පොත් මිලට ගැනීම අවසන් කර තිබුණේ නැත. තවත් පොත් ප‍්‍රදර්ශණ කුටි වෙත ගොස් පොත් මිලට ගැනීමේ සූදානමින් ඔහු පසුවූවේය.
ෆවුමි සෙයින් පොත් ප‍්‍රදර්ශණයට පැමිණීයේ මුද්‍රිත පොත් මිලට ගැනීම සදහා නොවේ. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඔහුගේ ළමුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මිලට ගැනීම ඔහුගේ අරමුණ වී තිබුනේය. ඒ සදහා පාසලෙන් ලබාදෙන පොත් ලැයිස්තුවක් ඔහුගේ අතේ විය.
විශාල වට්ටම්මුදලකට පොත් මිලට ගැනීමට හැකියාව ඇති බැවින් සැප්තැම්බර් මාසය එන තෙක් බලා සිටින බව ඔහු කියන්නේය. සියයට විසසක වටිටම් මුදලක් ලැබෙන්නේනම් රුපියල් දස දහසක පොත් මිලට ගන්නාවිට රුපියල් දෙදහසක ලාභයක් ලැබෙන බව ඔහු පෙන්වාදෙයි.
‘‘අඩුවට තිබෙන නිසා ඉස්සරනම් පොත් ගත්තා. ඒත් දැන් එහෙම පොත් ගන්නේ නැහැ. හොදනම් විතරයි පොත් මිලට ගන්නේ.’’ පොත් ප‍්‍රදර්ශණයෙන් පොත් මිලට ගනිමින් සිටි නලින්ද සෙනවිරත්න කීය.
මෙම ප‍්‍රදර්ශණයේදී පොත් සදහා වට්ටමක් ලබාදීම නිසා පාඨකයින් පොත් මිලට ගැනීමට පෙළඹෙන්නේයැයි පොත් ප‍්‍රකාශකයෙක් වන ආරියපාල ඉඹුල්දෙනිය පැවසුවේය.
පොත් ප‍්‍රදර්ශණටය පැමිණීමට පෙර ප‍්‍රකාශිත පොත් පිළිබදව කිසියම් අවභෝධයකිින් යුතුව පැමිණෙන බවත් ඒ අනුව හොද පොත් තොරා මිලට ගන්නා බවත් ඔහු පැවසුවේය.
‘‘මම ළමා පොත් වගේම පරිවර්තන කෘති මිලට ගත්තා.’’ ගමගේ කීවාය. ගමගේ මෙන්ම පොත් ප‍්‍රදර්ශණයෙන් පොත් මිලට ගත් වැඩි දෙනා අත පරිවර්තන කෘතියක් හෝ වැඩි ප‍්‍රමාණයක් විය.
‘‘පරිවර්තන පොත් තමයි ප‍්‍රදර්ශනයේදී වැඩියෙන්ම අළෙවි වන්නේ. අනාගතය දෙස බලන විට මෙය එතරම් හොද දෙයක් නෙමෙයි.’’ ඉඹුල්දෙනිය කීය. පරිවර්තන කෘති සදහා ඇති වැඩි ඉල්ලූම නිසා ඉදිරියේදී ස්ව නිර්මාණ කරන ලේඛකයින්ගේ කෘති වලට ඇති ඉල්ලූම අඩුවීමට හේතුවනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
පොත් කඩයකින් මිලට ගැනීමට නොහැකි පොත් එකම තැනකදී මිලට ගැනීමට හැකි නිසා තමන් ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණයට පැමිණෙන්නේයැයි හේමානි කියන්නීය. පසුගියදා උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇයට ජපන් භාෂා පොත් කිහිපයක් මිලට ගැනීමට අවශ්‍ය විය. පොත් සාප්පු කිහිපයක් වෙත ගොස් එම පොත් පිළිබදව විමසා සිටියත් එම පොත් සාප්පුවට ඇයට අවශ්‍ය පොත තිබුනේ නැත. අවසානයේ ඇයගේ පිහිටට තිබුනේ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය පමණි.
‘‘පොත් කඩවලට ගියත් පොත් හොයාගන්න අමාරුයි . ඒත් මේ වගේ තැනකට ආවොත් පොත් සොයාගැනීම හරිම පහසුයි.’’ ඇය කීවාය.
ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණයේ ප‍්‍රකාශකයින් සිය ගණනකගේ ප‍්‍රදර්ශණ කුටි වෙයි.
‘‘මම කලින් දැනගෙන සිටියේ පොත් ප‍්‍රකාශ කරන ආයතන කීපයක් ගැන විතරයි. ඒත් ප‍්‍රකාශන ආයතන විශාල සංඛ්‍යාවක් ලංකාවේ තිබෙනවායැයි කියලා දැනගත්තේ මෙතැනට ආවට පස්සේ.’’ පළමු වතාවට පොත් ප‍්‍රදර්ශණටය පැමිණි දෙල්ගොඩ යටිහේන ආදර්ශ විද්‍යාලයේ ප‍්‍රමෝධ්‍ය චතුරංග පැවසුවේය.
ප‍්‍රදර්ශන කුටියක් අසල පොත් මිටියක් තබාගෙන ප‍්‍රමොධ්‍ය සිටියේ ඔහු සමග පැමිණි පාසලේ ගුරුවරුන් පොත් තෝරාගෙන පැමිණෙන තෙක්ය. ඔහු මෙන්ම තවත් පාසල් ගණනාවක ගුරුවරුන් පුස්තකාල වෙත පොත් මිලට ගැනීමට පැමිණ සිටියහ.
‘‘ගමේ ළමයි පොත් ඉල්ලාගෙන ආවම දෙන්න පුළුවන් පොත් ටිකක් මම ගත්තා.’’ අම්බලන්ගොඩ මාදම්පේ නීග්‍රෝධාරාම විහාරයේ වැඩ වාසයය කරන මාතලේ ජිනවංශ හිමියෝ පැවසූහ.
පසුගිය වසරේ පොත් ප‍්‍රදර්ශණයට පැමිණ සිටි පිරිසට වඩා වැඩි පිරිසක් මෙවර පොත් ප‍්‍රදර්ශණය නැරඹීමට පැමිණ ඇතැයි මල්පියලි ප‍්‍රකාශන ආයනයේ මනොජ් සියඹලාපිටිය පැවසුවේය. පසුගිය වසරේ පොත් ප‍්‍රදර්ශණයේදී දිනකට රුපියල් ලක්ෂ දෙකක පමණ පොත් අළෙවි වූ නමුත් මෙවර දිනකට රුපියල් ලක්ෂ පහක පොත් අළෙවි කිරීමට හැකියාව ලැබුනේයැයි ඔහු කියයි.
‘‘රටේ තිබෙන යහපත් වාතාවරණයත් එක්ක මෙවර මිනිස්සු බය නැතිව පොත් ප‍්‍රදර්ශණයට පැමිණ තිබෙනවා.’’ සියඹලාපිටිය කීවේය.
වරශයට වරක් විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් පොත් ප‍්‍රදර්ශණයක් පැවැත්වීම නිසා අලූතින් පාඨක පිරිසක් බිහිවන්නේයැයි ඉඹුල්දෙනිය කියයි. මෙම පිරිස සියයට දහයක් පමණ වනු ඇති බව ඔහුගේ තක්සේරුවයි.
සාමාන්‍ය භාණ්ඩ අළෙවි කිරීම සදහා ප‍්‍රචාරක උපක‍්‍රම භාවිතා කරන ආකාරයට පොත් අළෙවිය සදහා පොත් ප‍්‍රදර්ශණයක් පැවැත්වීම හොද උපක‍්‍රමයක් බව ඔහු කියයි.
‘‘මෙතැනට ඇවිත් පොත් ගත්තාම පොත් කියවීම පෙළඹෙනවා. එතකොට පොතේ රහ දැනෙනවා. මේ නිසා පොත් කියවන්න පුරුදු වෙනවා. කියවීම පොදු හැසිරීමක් බවට පත්වූ විට සියලූදෙනාම කියවන්න පටන්ගන්නවා.’’ ඉඹුල්දෙනිය පැවසුවේය.