වී වගාවට දෙන සහනාධාරය පිළිබදව අධීක්ෂණයක් අවශයි
Paddy subsidy needs scrutiny – expert
මෙම වසරේ දෙවැනි කාර්තුව තුළදී වී නිෂ්පාදනය ඉහළ යාම නිසා සමස්ත කෘෂි නිෂ්පාදනය ඉහළ ගොස් තිබූ බව 2009 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික ප‍්‍රගති සමාලෝචනය ඉදිරිපත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයිි. කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමට හේතුවූ වී නිශ්පාදනය පිළිබදව මනා අධීක්ෂණයක් කරන්නේනම් වී වගාව වෙනුවෙන් ලබාදී ඇති සහනාධාරයෙන් උපරිම ප‍්‍රයෝජනයක් ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාලක රණතිලක පැවසුවේය.
‘‘පොහොර සහනාධාරය ලබාදෙනවා වගේම එම පොහොර නිසි ආකාරයෙන් යොදවනවාද යන්න පිළිබදව අධීක්ෂණය කළ යුතු වෙනවා.’’ රණතිලක කීවේය.
මේ වන විට අක්කර පහකට වඩා අඩු වී වගාකරුවන්ට රජය විසින් පොහොර සහනාධාරයක් ලබාදෙන්නේය. මෙම වගාකරුවන්ට අවශ්‍යතරම් පොහොර සහනාධාරය ලබාදිය යුතුව ඇතැයි ආචාර්ය රණතිලක කියයි. කෙසේ වෙතත් පොහොර ස්ථාවර සාධකයක් වන බැවින් පොහොර යෙදිය හැක්කේ කිසියම් ප‍්‍රමාණයකට පමණි. මේ නිසාවෙන් පොහොර සහනාධාරය ලබාදෙන ආකාරයටම ලබාදෙන පොහොර වී වගාව සදහා යොදාගන්නේද යන්න පිළිබදව අධීක්ෂණය කළ යුතුව ඇතැයි හෙහෙතම කියයි.
ලෝක ආර්ථික අර්බුදය සමගින් 2009 වසරේ දෙවැනි කාර්තුව තුළදී තේ නිශ්පාදනය සියයට 11.7 කින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේය. ලෝක ආර්ථීක අර්බුදය නිසාවෙන් තේ නිශ්පාදනය මේ ආකරටය පහළ බැස තිබූ බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.
නමුත් මෙම කාලය තුළදී වී නිෂ්්පාදනය සියයට 12.2 කින් වර්ධනය වී තිබූ අතර මේ නිසාවෙන් තේ නිෂ්පාදනය පහළ වැටීමෙන් සිදුවන අහිතකර ප‍්‍රතිථල අත්විදීමට සිදවූයේ නැත. ඒ නිසා කෘෂි අංශයේ කඩා වැටීමක් සිදුවූයේ නැත.
‘‘පසුගිය කාලයේ පැවති යහපත් කාලගුණික තත්වය නිසා හා රජයේ ප‍්‍රතිපත්ති නිසා වී නිශ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.’’ ආචාර්ය රණතිලක කීවේය.
නැගෙනහිර පළාත තුල වී නිෂ්පාදනය සියයට 37.4 කින් වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වෙයි.
‘‘නැගෙනහිර පළාතේ පැවති සාමකාමී වාතාවරණය හා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ වී නිශ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.’’ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීවේය.
වී නිශ්පාදනය ඉහළ යාම සමගින් සහල් මිල පහළ වැටීමට හැකියාවක් පවතින බව ආචාර්යය රණතිලක කියයි. මේ වන විට සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බැවින් සහල් මිල ඉහළ යාමේ හැකියාවක් නොපවතින බව ඔහු කියයි.
ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප‍්‍රමාණයට වඩා වැඩියෙන් සහල් නිපදවන්නේනම් පමණක් සහල් මිල පහළ යන්නේයැයි ඔහු කියයි. පරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණයට සහල් නිපදවන්නේනම් විදේශ රටවලින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැතැයිද ඔහු පැවසුවේය.
‘‘මේ වන විට ආහාර සදහා ජාත්‍යන්තරය මත යැපීම අවම වී තිබෙනවා.’’ හෙතෙම කීවේය.
සහල් නිශ්පාදනය වැඩිවීමත් සමගින් තිරිගු පිටි ආනයනය සීමාවන බව ආචාර්ය රණතිලක පෙන්වාදෙයි.
‘‘සහල් නිෂ්පාදනය වැඩිවීමත් සමගින් ආනයනය කරන හාල් හා පිටි නිශ්පාදනය අඩුවී තිබෙනවා. මෙය වෙළද ශේෂය කෙරෙහි ධනාත්මක ආකාරයෙන් බලපා තිබෙනවා.’’ ආචාර්ය රණතිලක පැවසුවේය.
ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ ප‍්‍රමාණය අඩුවී ඇති වේගයට වඩා වැඩි වේගයකින් ආනයන අඩුවී තිබීම නිසා වෙළද ශේෂය පියවාගැනීම පහසුවී තිබුණි. ලෝක ආර්ථික අර්බුදය සමගින් විදෙස් රටවල සිට ලංකාවට එවන මුදල් ප‍්‍රමාණය අඩවූ නමුත් එම මුදල් වලින් පමණක් වෙළද ශේෂය පියවාගැනීමට හැකියාව ලැබී ඇතැයි ආචාර්ය රණතිලක කීවේය.
ලෝක ආර්ථික අර්බුදය ලංකවේ ආර්ථික වර්ධනය කෙරෙහි කිසියම් බලපෑමක් එල්ලකර තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට හතකට ආසන්න අගයක් ගෙන තිබූ නමුත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව මේ මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය වී තිබුණේ සියයට 2.1 ක අගයකි.
‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපිට නොවැටී සිටීමට හැකියාව ලැබුනේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ වර්ධනය නිසයි.’’ ආචාර්ය රණතිලක කීවේය.
කෘෂිකර්මාන්ත අංශයේ ඇතිවූ වර්ධනය මගින් ලෝක ආර්ථිකය විසින් ලංකාවට එල්ල කරන බලපෑම පාලනය කිරීමට හැකියාව ලැබුණු බව හෙතෙම කියයි. මෙය ජාතික ආර්ථිකය ගොඩනැංවීමේ සංදිස්ථානයක් යැයි ආචාර්ය රණතිලක කියන්නේය.
කෘෂිකාර්මික අංශයෙන් ආර්ථික වර්ධනයේ යහපත් ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවන වන විට කර්මාන්ත අංශයේ වර්ධනය යහපත් ලෙසින් පෙන්නුම්කර තිබුණේ නැත. මෙම වර්ශයේ දෙවැනි කාර්තුව තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට තුනක් වී තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන් සදහන් කරයි.
2009 වසරේ දෙවැනි කාර්තුව ඇතුළතදී ඇගළුම් කර්මාන්ත අංශය පසුබා තිබුණි.
‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඇගළුම් නිශ්පාදන සදහා ආනයන ඉල්ලූම අඩුවීම හේතුවෙන් රෙදිපිළි හා ඇගළුම් කර්මාන්ත උප අංශය සියයට 8.9 කින් පසුබෑමට ලක්ව තිබෙනවා.’’ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේය. එහි අපනයන ආදායම සියයට 6.7 කින් අඩුවී තිබුණේය.
ලංකාවේ කර්මාන්ත අංශයට විශාල දායකත්වයක් ලබාදෙන ජී.එස්.පී. සහනය ඉදිරියේදී නොලැබී ගියහොත් සේවා වියුක්තිය පිළිබදව ගැටලූවක් ඇතිවිය හැකියැයි කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පේ‍්‍රමා පොඩිමැණිකේ පැවසුවාය.
යුරෝපා සංගමය විසින් ලබාදෙන මෙම සහනය ලබාදීම සදහා නොයෙකුත් කොන්දේසි පනවමින් සිටින බව ඇය ප‍්‍රකාශ කළාය.
‘‘මේ වන විට රටේ මූල්‍ය ප‍්‍රතිපත්ති එම කොන්දේසි සමග ගැලපෙනවා. මේ නිසා ඉදිරියේදී ජී.එස්.පී. සහනය ලැබීමේ හැකියාවක්ද පවතිනවා.’’ ආචාර්ය පොඩිමැණිකේ පැවසුවාය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය කාර්තුවට වඩා මෙම කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පැවතියේය. අඩු ආර්ථික වර්ධන වේගය නිසා දළ දේශීය නිෂ්පාදනය අඩුවිය හැකියැයි ආචාර්ය රණතිලක කීවේය. දළ දේශීය නිෂ්පාදනය ජනතාවගේ පරිභොජනය කෙරහි බලපාන බව හෙතෙම පවසයි.
‘‘දළ දේශීය නිෂ්පාදනය අඩුවීම නිසා සාමාන්‍ය ජනතාවගේ ආදායම අඩුවෙනවා. ඔවුන්ගේ පරිභෝජනය සීමා වෙනවා.’’ ආචාර්ය රණතිලක පැවසුවේය.
ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන සේවා අංශය මෙම කාර්තුව තුළදී වර්ධනය වී තිබුණේ මන්දගාමී ආකාරයෙනි. එහි වර්ධනය සියයට එකයි දශම එකක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තා පැවසුවේය.
ජාත්‍යන්තර වෙළදාම මත මෙම ක්ෂේත‍්‍රයේ වර්ධනය රදා පවතින බැවින් මන්දගාමී ආකාරයෙන් සේවා අංශය වර්ධනයක් පෙන්වා තිබූ බව ආචාර්ය රණතිලක කීය.
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන අවස්ථාවක මේ වසරේ දෙවැනි කාර්තුව තුළදී ලබා ඇති ආර්ථික වර්ධනය පිළිබදව සතුටු විය හැකියැයි ආචාර්ය පොඩිමැණිකේ පැවසුවාය.
‘‘අපට මේ තත්වයන් සර්ව අසුභවාදීව දකින්න බැහැ. ඉදිරියේදී යහපත් තත්වයක් ඇතිවිය හැකියි. සෑම අංශයකම වර්ධනයක් දැකීමට හැකියාව ලැබේවි.’’ ආචාර්ය පොඩිමැණිකේ පැවසුවාය.